Oct 4, 2007

නොබිඳුන දළ රළ

මගේ දෙවැනි කෙටි කථාව පලවෙනි කෙටි කථාව වූ "කේක් ව්‍යාපෘතිය" ට ලැබුණු ප්‍රතිචාර වලින් මට තවත් ලියන්න ආරාධනා ලැබුනා. මේ ලියපු ගමන් උණු උනූවේ.
තව හදන්න තියනවා,

මේකෙත් සමහර සිද්ධි ඇත්ත, සමහර දේ අතිං.
නිරමාණයක් කියන්නේ ඒකටනේ.
නිරංජන් මීගම්මන

නොබිදුන දළ රළ

හරි වැඩේ!
කෝ බ්‍රේස්ලට් එක?
මගේ අතේ තිබ්බනේ?
සාක්කුවෙද? සාක්කුවේ බ්‍රේස්ලට් දානවද ?
වැටිලා....!!!!!! ෂ් ..ෂ්...ෂිට්!
ෂුවර් පාටිය දාපු තැන වැටිලා?
මේ වෙලාවේ කොහොමද වැල්ලට යන්නේ?
ටෝච් එකකුත් නෑ?
අර බූරුවා තමයි නටන්න මගේ අතින් ඇද්දේ,
ගැලවිලා වැටෙන්නැති..
වැලි අස්සට ගියොත්, කවුරු හරි අහුලා ගත්තොත්!
වෙලාව කීයද ? කෝ මේ ඔර්ලෝසුව පේන්නෑ?
ලස්සනට ඩිගිටල් උනාට කරුවලේ වෙලාව පේන්නෑ?
රෑට මට කවදාවත් වෙලාව ඕනෑ උනෙත් නෑ, ඒක අවශ්‍ය ඔෆිස් ඇරෙන වෙලාව දැනගන්න විතරයි.
මට කෙල්ලෙක් නෑනේ ඇපොයින්මන්ට් දාලා හම්බුවෙන්න. ඒකත් ඉන්නේ ඔෆිස් එකේනේ. ගියා හම්බු උනා, සෙනසුරාදා ඉරිදා අපි සතියම ලව් කරලා නිවාඩු ගන්න දවස්...

බ්‍රේස්ලට් එකනං නැතිකරගන බෑ, යන්තං හඳ එලියනං තියනවා, රත්තරං නේ සමහරවිට පෙනෙයි, අරූට කතා කරනවද? ෂිහ්! ඌ ගොරොද්දේ ඇද ඇද කාමරේ නිදි, වමනෙත් දැම්මනේ, මොකද කරන්නේ තනිවම යනවා, දැන් කීයට ඇතිද? පාන්දර තුන නං පහුවෙලා, ටිකක් නිදාගන ඉඳලා උදේම යනවද ? නින්ද ගියොත්, මටත් ටිකක් පෙවුනනේ,
ඕක නැති උනොත් මගේ ලුක් එකත් අප්සෙට් වෙයි..
මාස කීයක් එකතු කරලාද ගෙවන්න ගත්තේ. ගෙවලා ඉවර උනා විතරයි..

මං හඳ එලියේ හෝටලේ ඉඳන් මූදට වැටිච්ච අඩි පාර දිගේ ගියා. මේක කසි කබල් හෝටලයක් විසි හතර පැයේ තියා රෑ නවයෙන් පස්සේ උනුත් නිදි.. මුරකාරයත් නිදි වගේ.
"මේ අංකල් ටෝච් එකක් තියනවාද ?"
තුන්පාරක් කථා කරපුවාම මිනිහා ඇහැරුනා.
"මොකද ඕයි? මං මුර කරනවා පේන්නැද්ද"
මාර මුර කාරයෙක්, නිදාගන තමා මුර
"නිදාගන හිටිය නිසා අංකල් මං කථාකලේ"
"මහත්තයා මං නිදාගන වගේ තමා මුර කරන්නේ"
මිනිහා නිදහසට කරුණු කීවා, මං නේ දන්නේ ඒක.
"අංකල් ටෝච් එක ටිකකට දෙනවද වැල්ලට යන්න"
"මහත්තයා මේ වෙලාවේ මොන වැල්ලද ?"
"නෑ අංකල් මං මේ ටිකක් ඇවිදින්න"
මං බ්‍රේස්ලට් එක ගැන නොකිව්වේ , මිනිහා උදව්වට වගේ ඇවිත් ඒකට විද්දොත්, හොයාගන වෙන තැනක හැංගුවොත්"
"මහත්තයා දැන් නිදාගන්න, හෙටත් ඉන්නවානේ එතකොට ඇවිදිමු, මටත් වැඩ තියෙනවා"
මුරකාරයා ආයේ මුර කරන්න ගත්තා, ඇස් පියාගන, මං හෝටලයට යනවා වගේ ගිහින්, වැල්ල පැත්තට ගියා

හඳ එලිය වැටිලා තියෙන වැල්ල පොල් රුප්පාව අතරින් මං දැක්කා, ඊටත් එහා රළ වලට හඳ එලිය වැටිලා දිලෙසෙනවා, කවදාකවත් මුහුද මෙච්චර ලස්සනයි කියලා මට හිතුනේ නැහැ. මොහොතකට මට බ්‍රේස්ලට් එක අමතකත් උනා. අඩි පාර දිගට යන ඇලටත් හඳ එළිය වැටිලා, පූංචි හුළඟක් ඇවිත් ඇගේ වැදුනා, කොච්චර සැපද ?

උණවටුනට මං ආවේ පළමු වතාවට, අපි නුවරනේ, කොහෙද එහේ මූද? සුදත් තමා මාව එක්කරගන ආවේ. වැලලේ කීර්ති තමා සුදතගේ යාලුවා, හොඳ එකා අපිට ඕනේ කරන දේ ඔක්කෝම සැපයූවා, සූදත් ඕඩර් කලා, මං ගෙව්වා! මුලු රෑම පාටි, බොබ් මාලිගේ සිංදු තමා ඉතිං, ඒකට අනුපානේ දුං දදා වටේ කැරකුනා, ඒකත් මාර සැපක්.

ඕන් කොහෙන්දෝ අමුතු සුවඳක් එනවා, මූද පැත්තෙන් රෑ මනමාලිද ? පිච්චද ? ඒවා කොහෙද මෙහේ, බෙලිකටු සුවඳ වගේ. මුහුදේ සද්දේ විතරයි, ඒකත් රිද්මයකට, මේ වෙලාවට මතක් වෙනවා අමරදේචවගේ සිංදුවක්,
පාවෙනා නිල් වලාවේ
රිදී ජලාසේ ඔබේ සිනාවේ
කැලුම් සැඟවුනාවේ
මතක නෑ, මං සිංදුව කිව්වේ නැහැ නිකම්ම විසිල් උනා
දිගටම, හඳ එලියේ අපි හිටපු තැන පෙනුනා, එතන කවුරුවත් නෑ, බඩුත් අස්කරලා වගේ, බ්‍රේස්ලට් එක කාට හරි හම්බු උනාද ? ගත්තද ? ගත්තානං දෙයිද? දෙන්නේ නෑ , රත්තරං නේ, මට හම්බුවුනත් දෙයිද ? මං දෙයි, ඕක තියාගන ජීවිත කාලෙම හොරෙක් වෙන්නේ කෝමද ? සල්ලි නැති වෙලාවට හිතෙන්නේ බැංකුවක් කඩන්න, කෝ කඩනවද ?

මං හිමිහිට නටපු තැ බ්‍රේස්ලට් එක හොයන්න ගත්තා, මල ඉලව්ව මේක නෑ, මං තව හෙව්වා, කොටු කෑල්ලක් අරගන අඟලෙන් අඟලට පහුරු ගෑවේ ඊට පස්සේ, ඕං ආයෙත් අර සුවඳ, මං ලඟින්ම තදට දැනුනා, මං හැරිලා බැලුවා, මට පෙනුනේ සුදු රැලි සායක් විතරයි. මං උඩ නෙමේ ඉස්සෙල්ලා බැලුවේ යට!

ලස්සන කකල් දෙකක්, හීනි පාද සලං දෙකක් බැඳපු, නිය රතු කරලාද කොහෙද? කකුල් දෙකේම වතුර බේරෙනවා, මං උඩ බැලුවා, කෙල්ලක්!
මං අඩියක් පස්සට තියලා නැගිට්ටා! මේකි කවුද? මෝහිනීද ? පොකුටීද ? නැත්තං කවුද ? මං කෙලින්ම ඒකිගේ මූණ බැලුවා, ඇඟේ මූදු වතුර බේරෙනවා, ඇඳගන ඉන්නේ දුහුල් සායක්, අතරින් පතර ඇඟ පේනවා තෙතට, මෝහිනී නෙවේ, මෝහිනී නාන්නේ නැහැලුනේ, මේ කවුද?

මං පුදුම වෙලා හිටියේ කර කියාගන්න දෙයක් නැතිව. එකපාරටම එයා අත දික්කරා, ඊට පස්සේ දිගෑරියා, සුදු පාට අල්ල උඩ මගේ බ්‍රේස්ලට් එක,

"මේකද හොයන්නේ?"
"ඔව්"
"මට හිතුනා!"
"තැන්ක් යු!"
"කමක් නෑ ගන්න."
"මම හරියට හෙව්වා ඔයාට කොහෙන්ද මේක ?"
"ම් ම් මට හම්බු උනානේ මෙතනට එනකොට ?"
"ඔයා මෙතනට ආවේ මට පස්සේද ?"
"නෑ ඔයාට ගොඩක් ඉස්සර?"
"ඔයා මොකද මේ රෑ කරන්නේ?"
"මම තනි උනාම මම වෙරළට එනවා"
"හැමදාම?"
"නෑ අවුරුද්දකට සැරයක් විතර"
"ඇවිත්?"
"ඇවිත් මූද දිහා බලාගන ඉන්නවා"
"ඒ ඇයි?"
"මගේ කෙනා එනකන්"
"ඒ කියන්නේ ?"
"ඒක පුංචි කතාවක්"

පුංචි උනත් මට මේ කතාව අහන්නමයි හිත, මේ කෙල්ල දාලා යන්න හිත දෙන්නේ නැහැ, එයාගේ සුවඳට මාව මුසපත් වෙලා වගේ. එයායි මමයි කතා කරන්න ගත්තා ඉස්සෙල්ලා හිටගන, ඊට පස්සේ ඇවිද ඇවිද, අන්තිමේදි අපි එක ලඟ ඉඳ ගත්තා. මට වෙන මොනවාවත් හිතුනේ නෑ, බ්‍රේස්ලට් එක නැතිඋන
එක කොච්චර හොඳද ?

අපි දෙන්නා උපතේ ඉඳන් කතා කළා වගේ, එයා රත්නපුරේලු, හොඳට ඉගෙන ගෙන, නම නීශා, වයස 21 යි, තනියමලු උණවටුනේ ආවේ. ඉස්සෙල්ලම ආවේ 2004 දී ලු, ඒත් ආවේ තනියමලු, මාත් මගේ විස්තර ගොඩාක් කිව්වා, ඒත් තාම අර පුංචි කතාවට අපි ආවේ නෑ, වෙලාව ගොඩක් ගියා, මං මට ආදරය කරන කෙනෙක් ඉන්න බව කිව්වේ නැහැ, එයා ඇහුවේත් නැහැ?

බලං ඉඳලා ඉඳලා මං ඇහුවා
"ඇයි ඔයා තෙමිලා, ඇයි මේ රෑ නෑවේ කියලා"
එයාගේ ඇස් රතුවුනා, ලස්සනට තිබුණු මූණට මොනවදෝ උනා, තරහ ගියා වගේ, එයා ඈත මුහුද දිහා බලාගන හිටියා ටිකක් වෙලා, ඊට පස්සේ මගේ දිහාට හැරුණා
"ඔයාට ඒක දැනගන්නම ඕනෙද ?"
"ඔව්"
"ඒක දැනගත්තම ඔයාත් මාව දාලා යයි"
"පිස්සුද මං එහෙම කරන්නේ නැහැ"
"මං ඔයාට ආදරෙයි" කියලා කියන්න හිතුනත් මං ඒ ටික ගිලගත්තා, ඒ වෙනුවට මම ඇගේ අතින් අල්ලා ගත්ත, අයිස් වගේ සීතල අතක්, මූදු වතුර මේ තරම් සීතලද ? එයාට ගාණක් වත් නැහැ.

අපි මොහොතක් දෙන්නගේ ඇස් දෙක දිහා බලාගන හිටියා, හරියට මකුලු දැලක පැටලිලා වගේ, අහකට ගන්න බෑ ඒ ඇස්, එයාගේ බෙල්ල හුඟක් හීරිලා තිබුණා, ඒ මොකද ? කරදරයක් වත් උනාද ? ඒ හීරුම බෙල්ල ලඟ ඉඳලා පපුව මෑදටම තියෙන බව මං දැක්කේ එතකොට.

එයා කටහඬ අවදි කලේ ටික වෙලාවකට පස්සේ.
"මම 2004 දී මෙතෙන්ට ආවේ කෙනෙක් මුණ ගැහෙන්න"
"එයා කවුද"
"මම දන්නේ නැහැ"
"දන්නේ නැති කෙනෙක් කොහොමද හම්බු වෙන්නේ"
"ඇයි දන්නැති අය හම්වු වෙන්නැද්ද? ඇයි අපි දැනගනද හමු උනේ" එයාට තරහ ගිහින් ආයේ.
මෙහෙමත් ගෑනු, ආදරේට මං ඉවසුවා,
"ඉතිං" මං හූ මිටි විතරක් තිබ්බා.
එයා කියාගන ගියා ගොඩක්, එයාට රුවන්ත හමුවෙලා තියෙන්නේ පත්තරෙන්, මිතුරු හවුලකින්, ගෙදරට හිරවෙලා හිටපු එයා රුවන්තට ලියනකොට අවුරුදු 17 යි ලු.

ඊට පස්සේ දෙන්නම ලියලා මලු ගණන් ලියුම්. රුවන්ත හිටියේ හම්බන්තොට. එයා රෙප් කෙනෙක් වෙලා ගාල්ලට ආවා. දෙන්නට දෙන්න ආදරේ කියාගන්න අවුරුදු හයක් ගියාලු. ඒ වුනාට ලියුම් ව‍ිල "ප්‍රිය සොහොයුර" "දයාබර සොයුරිය" කියලා පටන් ගත්තට මදේ තිබ්බේ ආදරේ ඉවර උනේත් "දයාබර" කෑල්ලෙන්. පස්සේ ලියුම් අස්සට ටෙ‍ිලිපෝන් හා කෙටි පණිවිඩ ආවා. දෙන්නා දවසකට පණිවිඩ හත අටක් යවාගන්නවා. සමහර දවස්වල රෑට දෙන්නා නිදි නෑ. කතාව. එකම දේ නැවත නැවත කතාව. දෙන්නා මේ වෙනකොටත හමුවෙලා තිබ්බේ නැහැ, නීශාට ඒ තරම් ගෙදරින් රැකවල්, හේතුවකට නෙවේ, මැණික්කාර පවුල් වල හැටි.
දෙන්නා ඒ වුනාට ලංවෙලා හිටියේ බැඳලා වගේ.

ඔය වෙලාවේ තමා නීශාට මඟුලක් කතා උනේ. මුලින් ආපු ඒවට බෑ බෑ කිය හිටියට, ඒකට නං බෑ කියන්න නීශාට ගෙදරින් ඉඩ දුන්නේ නැහැ,
"උඹ මේකට කැමති වෙයන්, නැත්තං අපි උඹව බලෙන් බන්දනවා"
නීශාගේ තාත්තා කිව්වේ එහෙමයි.
ඒ නීශාගේ ඇවැස්ස මස්සිනා, එයා මැණික් කාරයෙක්. කවුද අකමැති. තාත්තාගේ හැටි දන්න නිසා නීශා හොඳටම බය උනා.
නීශා මේක රුවන්තට කිව්වා.
රුවන්ත මොකුත් ඇහුවේ නැහැ.
"ඔයා කැමතිද මාව බඳින්න"
"එහෙම වෙන්නේ කොහොමද ?"
"ඔයා එන්න මම ඔයාව බඳිනවා"

ඒ වචනේ අවිස්වාස කරන්න දෙයක් නීශාට තිබුණේ නැහැ. එයා ආවා පහුවදාම පාන්දර බස් එකේ දෙනියායට ඇවිත් ගාල්ලට ආවා.

ගාල්ලේ ටවුමේදී හමුවෙන්න හිටියත්, රුවන්ත ඒ වෙනකොට විවාහයට සියල්ල උණවටුනේ හොරෙන්ම ලෑස්ති කරලා, උණවටුනේදී බැඳලා, වැල්ල අයිනේ තිබුණු කීර්තිගේ රෙස්ටුරන්ට එකේදී යාලුවන්ට පාටියක් දාලා, එතනම තියන හෝටලේ හනිමූන්.
රුවන්තගේත් අම්මා තාත්තා නැහැලු. එයා විතරයි.

එයා එතනිං කථාව නැවැත්තුවා.
"ඉතිං ඔයාලා බැන්දද?"
ඒ පාර එයාගේ ඇස් ගින්දර වගේ රතු උනා
"බැන්ද තමයි" තරහෙන් එයා කිව්වේ.
මම නිශ්ශබ්ද උනා එයාම ඉතිරි ටික කියයි කියලා.

ටික වෙලාවකට පස්සේ එයා ආයේ මං දිහා ආදරෙන් බැලුවා. පුදුම කෙල්ලක්, මට කතාවේ ඉතුරු ටික අහන්නම හිතිලා. මේ වෙනකොට මං ඇගේ අතින් තදින්ම අල්ලාගන. එයා මගේ උරහිසට හේත්තු වෙලා. ඉසුරුමුණියේ පෙම් යුවල වගේ. යාන්තං ඉරත් පායන්න වගේ. ආකාසේ ඈත බිංදුවක් විතර රන්පැහැ වී ගන එනවා.

එයා ආයෙත් කටහඬ අවදි කළා.

"මම යන්න ඕනේ දැං"

"ඇයි තව ටිකක් ඉන්න"

එයා නැගිට්ටා, මාත් නැගිට්ටා අත නං අතෑරියේ නෑ.

"මට අර සිප්පි කටුව අහුලලා දෙන්න" එයා කිව්වා.

මම අත අත ඇරලා සිප්පි කටුවක් හොයන්න ගත්තා.

"ඔයාට දැනගන්න ඕනේමද මොකද උනේ අපිට කියලා" , මම මොකුත් කීවේ නැහැ. ආයෙත් අර සුවඳ වැඩිවෙන්න ගත්තා.

"එදා ක්‍රිස්මස් දාට පහුවදා, මම එයාට කතා කරලා මූදු වෙරළට ආවා, මම එනකොට උදේ නවයයි විස්සයි,අර කරුමක්කාර රැල්ල ආවේ එතකොට, මට එයාව හමු උනේ නැහැ, අදත් මං හිතුවේ ඔයා තමයි එයා කියලා, හැමදාම එයාව මම බලාපොරොත්තුව ආවත්, එයා මට හමු උනේ අදයි"

"ඔයා නේද එයා රත්තරං"
"කෝම හරි මං මගේ මැණික දැක ගත්තනේ"
එයා කිව්වා.

එතකොටයි මට මතක් උනේ 2004 දෙසම්බර් 26 සුනාමිය. මට සිහිය එනකොට එයා මං ලඟ හිටියේ නෑ. හැම දෙසැම්බර් 26 කම උණවටුනේ වෙරළට ගියත් එයා මට ආයේ හමු උනෙත් නෑ.


නිරංජන්෴මීගම්මන

ලියන්න පටන්ගන්න කොට අදහසක් තිබ්බට සිද්ධි හා වචන ආවේ ලියාගෙන යනකොට. කෙටි කතාවක් කියනනේ කෙටි කාලයකින් ලියන නිසා වෙන්න ඇති.